සුජිත් ප්‍රියන්ත, Uncategorized

ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ජාතිය ආගම වෙනුවෙන් මරන මිනී ගාණ මත නොව ඕනෑම අවස්ථාවකදී ජාතිවාදී නොවී සිටීම මතයි

2018.03.07 රැස පුවත්පතෙහි ශ්‍රී විකාර තීරුවට මා විසින් ලියන ලද ලිපියකි

ඇතැම් අවස්ථාවල සවස් යාමයේ මුහුදුවෙරළ අසලට ගොස් ඈත ක්ෂිතිජය දෙස බලා සිටීම මගේ පුරුද්දක්. වෙනදා වගේම එදත් හවස ගාලුමුවදොරට ගියේ ඉර බහින හැන්දෑවෙ අසිරිය විඳින්න. මුහුදු වෙරළ අසල ගල් බැම්මේ කොනකට වී කකුල් දෙකත් පහළට දාගෙන මුහුද දෙසම බලාසිටි මාහට පොඩ්ඩක් ඈතින් අසුන්ගෙන සිටින අවුරුදු හැටක පමණ වයසකින් යුත් වැහැරී ගිය සිරුරකට හිමිකම් කියන මිනිසෙක් දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් ඒ ස්ථානයේ තනියම එලෙස අසුන්ගෙන සිටින මහලු වියේ පුද්ගල‍ෙයකු මීට කලින් දැක නොමැති නිසා මම හෙමින් ඔහු වෙත ලංවී පොඩි කතාබහකට මුල පිරීමි. ඔහු නමින් සෙල්වරාජ් විය. යාපනයේ පදිංචිකරුවෙකි. සිංහල භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව තිබුණු ඔහු මාත් සමඟ මටත් වඩා හොඳින් සිංහලෙන් කතා කළේය. 1983 වන විට කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ වෙළඳ සැලක හිමිකරුවෙකි. ඒ ඔහු පිළිබඳව මූලික හැඳින්වීමයි. “අංකල් ඇයි යාපනේ ගියේ?” මූලික හඳුනාගැනීමෙන් පසු ඔහුගෙන් මම ඇසීමී. “පුතා, මට දරුවො දෙන්නෙක් හිටියා. දුවයි පුතයි. අපේ ගෙවල් තිබුනේ වැල්ලවත්තෙ. එදා මිනිස්සු පාරට බැහැලා කඩවලට ගැහුවා. මිනිස්සුන්ට ගැහුවා. ගෙවල් ගිනි තිබ්බා. එදා වයිෆ් තමයි කඩේ හිටියෙ. මායි දරුවො දෙන්නයි ගෙදර. කඩේ ගිනිතියල කියල ආරංචි වුනා. වයිෆ් කඩේ ඉද්දිම. මට යන්නත් බෑ, ගියොත් ළමයි දෙන්නටත් ගහල මටත් ගහල මරල දායි කියල බය හිතුනා. වයිෆ්ගෙ මිනියවත් මම දැක්කෙ නෑ. අවුරුදු ගානක් ගොඩනගපු බිස්නස් එක වයිෆ් එක්කම අලු වෙලා යන්න ඇති. මට කරන්න තිබුණ එකම දේ මගේ දරුවො දෙන්නා පරෙස්සම් කර ගන්න එක.” “දරුවො දෙන්නට මොකද වුනේ? අංකල් කොහොමද බේරුනේ?” හිතට ගලාගෙන ආපු කෝටියක් ප්‍රශ්න වලින් දෙකක් විතරක් තෝරගෙන බේරගෙන ඇහුවා. “ගෙවල් ළඟ හිටියා සිංහල දොස්තර මහත්තයෙක්. ඒ මහත්තයා අපිව බලාගත්තා. තමන්ගෙ මිනිස්සුන්ට වගේ සැලකුවා. ගෙදරට ඇවිල්ලා අහද්දි එහෙම කෙනෙක් නෑ කිවුවා. දවස් ගානකට පස්සෙ ආරංචි වුනා. දෙමළ මිනිස්සු යාපනේ යවනව කියල. දොස්තර මහත්තයා අපිව කොළඹට ගෙනත් දැම්මා. දරුවො දෙන්නයි මායි නැවකින් යාපනේට ආවා.” “හම්මේ ඇති දරුවො දෙන්න බේරුනා නම්..” ඒ වචන ටික නිරායාසයෙන්ම මගේ කටින් පැන්න. “නෑ පුතා බේරුනේ නෑ. අපි යාපනේදි ටික කාලයක් හොඳට හිටියා. දරුවන්ටත් ඉගැන්නුවා. ආයෙත් අමාරුවෙන් එහේදි ගොඩනැගුනා. දරුවො දෙන්නම LTTE එකෙන් අරං ගියා බ‍ෙලන්ම. අදටත් දෙන්නට මොනවා වුනාද කියල දන්නෙ නෑ. උන්ට මං කියල දුන්නෙ නෑ කවදාවත්ම සිංහලයට වෛර කරපන් කියල. උන්ට මං කියල දුන්නෙ නෑ සිංහලයා හතුරො කියල. උන්ට කියල දුන්නෙ යුද්ධෙ ඉවර වුනාම අපි කොළඹ යමු. එහේ ලස්සන බලමු ඒ මිනිස්සු එක්ක ජීවත්වෙමු කියන එක විතරයි. ඒත් යුද්දෙ ඉවර වුනාට දරුවො දෙන්නට කොළඹ බලන්න එන්න බැරි වුනා පුතා. දරුවො දෙන්න අරං ගියපු දවසෙ මම මැරුණා පුතා. දැන් නිකන් මල මිනියක් විතරයි. ” “එතකොට අංකල් දැන් කොළඹ ආවෙ නෑයෙක් යාළුවෙක් හම්බෙන්නද?” “නෑ පුතා. මම මාස තුනකට හතරකට පාරක් කොළඹ එනව. හැම තැනකම ඇවිදිනව. යුද්ධෙ ඉවර වුණාම දරුවන්ට බලන්න බැරි වුණ කොළඹ මං බලනව. මං දන්නව මගෙ දරුවො ඉන්න තැනක හොඳින් ඇති. මං බලන කොළඹ එයාලට දැනෙනව ඇති.” අපේ කතාව තව පැයක් විතර දිගට සිදු වූණා. මේ ඒ කතාවේ කොටසක් පමණයි. අවසන් වචන ටික ඇසෙන විට මගේ හදවත මොහොතකට නතර වුණා. කියන්නට අසන්නට කිසිත් සිතට ආවේ නෑ. ඒ යුද්ධයෙන් බැට කෑ තවත් එක් මිනිසෙකුගේ කතාවක් පමණයි. මිනිසුන් ඕනෑ තරම් ඇත. ඕනෑ තරම් කතාද ඇත. ඒ කතා අපිට හොඳටෝම ඇතිය. තවත් එවැනි කතා මේ රට තුළ මැවිය යුතු නැත. ඕනෑම ගොනෙකුට ආයුධයක් අතට ගත හැක. ඉදිරියට එන ඕනෑම කෙනෙක් මරා දැමිය හැක. ආයුධ වලට ආගම ජාතිය කුමක්ද කියා අදාළ වෙන්නේම නැත. ඒවා ලැව් ගින්නක් සේ පැතිර යන විට නිවා දැමීමද ඉතා අසීරුය. ලැව් ගින්නට හසුවන ගස් ගල් වැල් සතා සීපාවා හැම එකාම මියයන්නාක් මෙන් යුද ගින්නට හසුවන හැමෙකාම දැවී යනු ඇත. තිස් වසරක සාපලත් යුද්ධයෙන් අපි ලේ දැක්කා හොඳටෝම ඇතිය. කොතනින් හෝ අප නැවතීමේ තිත තැබිය යුතුය. ඒ නැවතීමේ තිත තැබීමට තනි තනිවම පටන් ගැනීම වඩා සුදුසුය. මනුස්සයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ජාතිය ආගම වෙනුවෙන් මරන මිනී ගාණ මත නොව ඕනෑම අවස්ථාවකදී ජාතිවාදී නොවී සිටීම මතයි.

Advertisements